ජපානයේ ශ්‍රී ලංකා උළෙල 2023

未分類

දෙවන වරටත් කමගයා නගරයේදී පවත්වන ලද ජපානයේ ශ්‍රී ලංකා උළෙල අති සාර්ථකව අවසන් විය. දින දෙකක් පුරාවට පැවති උත්සවය සදහා දස දහසකට අධික ජපන් ජාතිකයන් පිරිසක් සහභාගී විය. ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට අදාල ප්‍රදර්ශන වෙලදකුටි, ශ්‍රී ලංකික අහාරපන සහිත වෙළද කුටි, හෙළ වෙදකම සහ ආයුර්වේදයට අදාල වෙළද කුටි, අත්කම් භාණ්ඩ සහිත වෙළද කුටි, මැණික් හා ස්වර්ණාභරණ වෙළද කුටි, තේ, කෝපි සහ කුළුබඩු සහිත වෙළද කුටි මෙන්ම ශ්‍රී ලංකික නර්තන, සංස්කෘතික අංගයන්ගෙන් පිරිතිබු උළෙල පුංචි ශ්‍රී ලංකාවක සිරි ගත්තේය. අපගේ දැනුම්දීමට අනුව තම වෙළද ආයතන ශ්‍රී ලංකා උළෙල සදහා ගෙන ආ සියලුම ව්‍යාපාර හිමියන්ට විශේෂ ස්තුතිය පුදකිරීමට මා මෙය අවස්ථාව කරගනිමි. 

ජපානයේ ශ්‍රී ලංකා සංගමය සහ වෙළද සංගමය විසින් මුලිකත්වය ගත් ශ්‍රී ලංකා උළෙල සදහා වෙනදා මෙන්ම වාහන අපනයන කරුවන්ගේ සංගමයේත්, වුර්තිකයන්ගේ සංගමයේත්, ශිෂ්‍ය සංගමයේත්, තානාපති කාර්යාලයේත් නොමසුරු සහයෝගය සහ මගපෙන්වීම ලැබිණි. ශ්‍රී ලංකා උළෙලෙහි සමාරම්භක අවස්ථාවට කමගයා නගරාධිපතිනිය ඇතුළුව සියලුම සභිකයන් සහ ජපානයේ විදේශ අමාත්‍යංශයේ ඉහළපෙලේ නිලධාරීන්ද සහභාගිවීම විශේෂය.

මෙවර ජපානයේ ශ්‍රී ලංකා උළෙල සදහා සුවිශේෂී කාර්යයක් ඉටුකරනු ලැබුවේ කමගයා මහ නගර සභාව විසිනි. නගර සභා ගොඩනැගිල්ල සහිත පිටිය දින දෙක පුරාවටම උළෙල සදහා කිසිදු අයකිරීමකින් තොරව ලබාදුන්නේය. මුලින්ම නගරාධිපතිනිය විසින් මාධ්‍ය වෙත පණිවුඩයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා උළෙල පැවැත්වීමේ ඇති වැදගත්කම පැහැදිලි කලාය. ඉන්පසුව සියලුම විද්‍යුත් සහ මුද්‍රිත මාද්‍ය ආයතන දැනුවත්කොට උළෙල සදහා අවශ්‍ය ප්‍රචාරක කටයුතු සදහා මාද්‍ය සහයෝගය ලබා ගැනීමට කටයුතු සලසා දුන්නේය. Shin-Keisei Electric Railway ආයතනය දින 60ක් පුරාවට දුම්රිය මැදිරි තුල මෙන්ම දුම්රිය ස්ථාන තුලත් නොමිලේ දැන්වීම් පළකොට දුන්නේය. මෙම සහයෝගයන් නොවන්නට මේසා විශාල ජපන් ජාතිකයන් පිරිසක් ශ්‍රී ලංකා උළෙල සදහා ගෙන්වා ගැනීමට හැකියාව ලැබෙන්නේ නැත.

ප්‍රාදේශීය පොලිසිය, පළාත් ගිනිනිවන ඒකකය සහ හදිසි ගිලන්රථ සේවය ලබාදුන් සහයෝගය අති විශිෂ්ටය. හදිසි අවස්ථාවක කටයුතු කලයුතු ආකාරය පිලිබදව ඉහත සදහන් ආයතන ත්‍රිත්වය එක්ව කටයුතු සම්භන්ධිකරණය කළේය. සිවිල් පොලිස් නිලධාරීන් කණ්ඩායමක් උළෙල පැවති මුළු කාලසීමාව තුලම ආරක්ෂක කයටුතු වෙනුවෙන් ලබාදුන්නේය. ගිනි නිවන රථ දෙකක්, ගිලන් රියක් ඇතුළුව නිලධාරීන් නව දෙනකු නිල ඇදුමින් ලබාදුන්නේ ඕනෑම හදිසි තත්වයකට මුහුණ දිය හැකිවන ආකාරයකටය.  

උළෙල පැවැත්වීමට තීරණය කිරීමේ සිට සියලුම කටයුතු මානව සම්බන්ධීකරණය කරනු ලැබුවේ ශ්‍රී ලංකාවේ ආයුර්වේදය සහ හෙළ වෙදකම ජපානය තුල ප්‍රවර්ධනය කිරීමට ශ්‍රී ලංකා ජනරජය විසින් පසුගිය අප්‍රියෙල් මස පත්කරන ලද මිනාමි කඩෝවාකි මහත්මියයි. විටෙක සංවීධයක වරියක ලෙසත්, විටෙක නිවේදිකාවක ලෙසත්, තවත් විටක යෝගා ගුරුවරියක ලෙසත් ආරම්භයේ සිට අවසානයේ ප්‍රදේශය පිරිසිදු කිරීම දක්වාම ඉතාමත් උනන්දුවෙන් උළෙල සාර්ථක කරගැනීමට අවශ්‍ය සියලුම කටයුතු නොපිරිහෙලා ඉටුකළේය. එබැවින් මෙවර ඇය ශ්‍රී ලංකා උළෙලෙහි ප්‍රධානියා ලෙසින් මැනවින් වගකීම ඉටු කළේය.   

ඒවගේම ශ්‍රී ලංකා උළෙල සදහා අවශ්‍යවූ සියලුම කලා නිර්මාණ සහ මුද්‍රණ කටයුතු කියන පමාවෙන් ඉටුකොට දුන්නේත්, වෙබ් අඩවිය නිර්මාණයකොට පවත්වාගෙන යනු ලැබුවේත් මාගේ දියණිය හරුකාය. පුත් වතරු විසින් බොහෝ කටයුතු අවසාන මාසය තුල ක්‍රමවත්ව පාලනය කිරීමට මැදිහත්විය. එබැවින් ඔහු ශ්‍රී ලංකා උළෙලෙහි මුලස්ථාන ප්‍රධානියා ලෙස පත්කල අතර එම වගකීම ඔහු අකුරටම ඉටුකළේය. 

ඉතාමත් වැඩ රාජකාරි බහුලව සිටියද ඉතා දුරබැහැර ගෙවාගෙන විත් නිවේදන කටයුතු මැනවින් ඉටුකොට දුන් අකිසාව ජුන්කෝ මහත්මියටත්, මා දයාබර ඇන්ටන් විකී මහතාටත් මාගේ ගෞරව පුර්වක ස්තුතිය පුදකරමි

මෙම සියලු දර්ශන පතයන්ට පිටුපසින් සිටියේ හැමදිනකම කෙදිරියකින් තොරව බර අදින පිරිවරය. මහා පිරිසක් වෙනුවට හොදටම බර අදින, පවරන කටයුත්ත පිලිදබව නැවත සොයාබැලිය යුතු නැති කුඩා කණ්ඩායමක් මුලින්ම සුදානම් කරගැනීම මාගේ සිරිතය. එවිට යමක වැරදීමේ සම්භාවිතාවය ඉතාමත් අවමය. මෙවරද ඒ සදහා මුලිකත්වය  පවරනු  ලැබුවේ අප සංගමයේ කුමාර වීරමුනි මහතාටත්, අනිල් ප්‍රියන්ත මහතාටත්, සිරි හේරත් මහතාටත්, සුසත් නාරායන මහතාටත්, කුමාර අයියාට සහ අපගේ සයුරි ආයතනයේ අමිල මල්ලි ඇතුළු සේවක මහතුන් පිරිසටය. මෙම “විශේෂ බලකායට” නොකළ හැක්කක් නොමැති බව මම  හොදින් දැන සිටියෙමි. එබැවින් අනවශ්‍ය බරක් මෙවර මාහට තිබුනේ නැත.

එමෙන්ම අමතක කල නොහැකි පිරිස වන්නේ  උළෙලට පැමිණි ආරාධිත අමුත්තන් වෙනුවෙන් තේ මේසය සුදානම් කල සුමති මල්ලි ඇතුළු සහෝදරියන්  කණ්ඩායමය. ඔවුන් එය ලංකාවේ අවුරුදු කෑම මේසයක ආකාරයට අපුරුවට සුදානම් කොට තිබුණි. පැමිණි ආරාධිතයන් හට සතුටු සමිචිචියේ යෙදීමට එම කෑම මේසය කදිම උපාංගයක් විය.  

ජපානයේ ශ්‍රී ලංකා සංගමයේ ප්‍රධානියා ලෙස මෙම කටයුත්තට මා විසින් නායකත්වය දුන්නද, සැම විටම තීරණ ගැනීමේදී ව්‍යාපාරික සංගමයේ සභාපති ජගත් රාමනායක මහතා සමග සාකච්චා කිරීම මම පුරුද්දක් ලෙසම පවත්වාගෙන ගියෙමි. එබැවින් මෙම ශ්‍රී ලංකා උළෙල ඉහත සදහන් අපගේ කණ්ඩායමේ සාමුහිකත්වයේ අග්‍ර ප්‍රතිපලයකි.

සමන් ප්‍රියංකර
සභාපති,
ජපානයේ ශ්‍රී ලංකා සංගමය.
22/05/2023