සාවද්‍ය පුවත් සහ යූටියුබ් පට පිළිබඳව..

未分類

දැනට සති කිහිපයකට පෙර සිට මා පිළිබඳවත් අප තානාපති කාර්යයේ නියෝජ්‍ය තානාපති චන්දන වීරසේන මහතා පිළිබඳවත් අතිශය සාවද්‍ය පුවත් සහ යූටියුබ් පට කිහිපයක් ප්‍රේම් හේවාමාන්න නැමැත්තා විසින් අන්තර්ජාලයට මුදාහැර තිබුණා. මේ වන විට අප විසින් ඔහුට එරෙහිව නීතිමය කටයුතු කරමින් සිටින බැවින් ඒ පිලිබදව මෙහි වැඩිදුර සදහන් නොකරමි. කෙසේනමුත් අප සංගමයේ සාමාජිකයන්ගේ සහ හිතවතුන්ගේ දැනගැනීම පිණිස මේ පිළිබඳව නිසියාකාර කරුණු පැහැදිලිකිරීමක් ජපානයේ ශ්‍රී ලංකා සංගමයේ සභාපති වරයා ලෙස කලයුතු බැවින් හැකි පමණින් සදහන් තබමි.

ඉහත සදහන් ප්‍රේම් හේවාමාන්න නැමැත්තා සමග අපගේ කිසිදු පෞද්ගලික ගැටළුවක් හෝ ගනුදෙනුවක් තිබුනේ නැත. ඉතාමත්ම ආර්ථික අපහසුතා මැද සිටින ඔහු මෙම කටයුත්ත සදහා යොදවාගෙන ඇත්තේ කවුරුන්දැයි අපට සෘජුවම කිව නොහැකිය. නමුත් ප්‍රේම් හේවාමාන්න පවසන්නේ ජපානයේ ශ්‍රී ලංකා තානාපති සංජිව ගුණසේකර මහතා විසින් ඔහුට සංගීත ප්‍රසංගයකට අනුග්‍රහය දක්වන බවට පොරොන්දු වී ඇතිබැවින් තානාපතිතුමා රැකගැනීමට මෙසේ සිදුකරන බවයි. තව අවස්ථාවක පවසන්නේ පොඩි “ස්පොන්සර්” එකක් තානාපතිතුමා වෙනුවෙන් ලයන් රෝයල් ආයතනයේ ශාන්ත වික්‍රමසිංහ මහතාගෙන් ලැබුන බවත් ඒ නිසා සිදුකරන බවත්ය. මෙම ප්‍රකාශ දෙකම ප්‍රේම් හේවාමාන්න නමැති තුට්ටු දෙකේ අසම්මත චරිතය විසින් සිදුකරන බැවින් එහි සත්‍යතාවය කුමක්දැයි නිවැරදිව කීමට මාහට නොහැකිය.

කෙසේ නමුත් ජපානයේ ශ්‍රී ලංකා තානාපති සංජිව ගුණසේකර මහතා සහ අප අතර විශ්වාසය පලුදු වන්නේ මිට මාස හය හතකට පමණ පෙර සිටය. තානාපති සංජිව ගුණසේකර මහතා ජපානයට පැමිණි මුල් වකවානුවේදීම ඔහුගේ හැකියාවන් මෙන්ම නොහැකියවන්ද අප මැනවින් තේරුම් ගත්තෙමු. නමුදු අතිගරු ජනාධිපතිතුමන් විසින්ම නම්කොට එවනලද තානාපතිවරයා වූ බැවින් අපද අපට හැකිපමනින් තානාපතිවරයාද රැකගෙන කටයුතු කිරීමට උත්සාහ කළෙමු. කවුරුන්හෝ කියන දෙයක් අසා තමන් කිසිදිනක දැකවත් නැති පුද්ගලයන්ට නොබනින ලෙස මමත්, නියෝජ්‍ය තානාපති චන්දන වීරසේන මහතාත් කිහිප විටක්ම තානාපති සංජිව ගුණසේකර මහතාට පවසා ඇත. මුලින්ම ඉබරකි ප්‍රාන්තයේ කොන්සාල් සුනිල් ගමගේ මහතාට කිසිදු පදනමක් නොමැති චෝදනා නැගිමක් තානාපතිතුමා විසින් සිදුකරන විටත්, දෙවනුව අප වියාපාරික සංගමයේ සභාපති ජගත් රාමනායක මහතාට කිසිදු පදනමක් නොමැතිව දොස් පවරන විටත් අප එයට සෘජුවම එරෙහි විය. මේ සෑම අවස්ථාවකම එසේ නොකරන ලෙසත්, යමක් ඇත්නම් සෘජුවම ඔවුන් හමුවී කතාකරන ලෙසත් අප විසින් සංජිව ගුණසේකර තානාපති තුමා දැනුවත් කොට ඇත.

මේ සදහන් කලේ බොහෝ සිදුවීම් අතුරෙන් දෙකක් පමණි. මේ ආකාරයට අප විසින් සංජිව ගුණසේකර තානාපති තුමාට නිරතුරුව පැවසීමත්, යම් යම් නොගැලපෙන කටයුතු සදහා අපගේ එකගතාවයන් නොවීමත් තුල ක්‍රමක් ක්‍රමයෙන් තානාපතිතුමා අප සතුරන් ලෙස දකින්නට විය. එමෙන්ම ජපානය තුල ඇති ශ්‍රී ලංකික සංගම් ඔහුගේ කටයුතු වලට බාධාවක් ලෙස සිතු තානාපතිතුමා ඒවා විනාශකර දැමීමට පිබුරුපත් සකසන්නට විය.  

මේ සියල්ලෙහි එකතුවක් ලෙස 2021 ඔක්තෝම්බර් මස 01 දින තානාපති තුමාගේ අත්සනින් මාහට ලිපියක් ලැබුණි. එහි සදහන් වුයේ තානාපති කාර්යාලය නමින් ජපානයේ ශ්‍රී ලංකා සංගමය හොර Face Book ගිණුමක් පවත්වාගෙන් යනබවත් එයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත්ය. අප විසින් එවැන්නක් කිසිදිනක සිදුනොකළ බැවින් මුලදී එතරම් තැකීමක් කෙරුවේ නැත. පසුව මේ පිලිබදව දැනුම් තේරුම් ඇති පාර්ශවවලින් සොයාබැලීමේදී දැනගන්නට ලැබුනේ  Face Book ගිණුමක් නොමැති ආයතනයක් TAG කොට පින්තුර කීපයක් දැමුවිට ස්වයන්ක්‍රියවම එම ආයතනය නමට ගිණුමක් විවර වන බවයි. එසේම තානාපති කාර්යාලයේ හිටපු නිලධාරීන් පවසා සිටියේ එම ස්වයංනිර්මාණ පිටුව වසර 2014 සිට තිබු එකක් බවය. පසුව ඒ පිලිබදවත්, එසේ වන ආකාරය ඇතුලත් විස්තර සහිත වෙබ් පිටුත් තානාපතිතුමා වෙත 2021 ඔක්තෝම්බර් මස 07 දින පිළිතුරු ලිපියක් සමග යවන්නට යෙදුනි. එතරම් පැහැදිලි සාක්ෂි සහිතව යවන ලදමුත් මේ වනතෙක් එය නිවැරදි කලේද නැද්ද අප දැනුවත් නැත. තානාපතිතුමා විසින් මාහට එවන ලද ලිපියෙහි පිටපත් විෂයභාර අමාත්‍යතුමා, ඇටෝනි ජනරාල් තුමා, විදේශ ලේඛම් තුමා සහ ජපානයේ විදේශ අමාත්‍යංශයට පිටපත්කොට තිබු බැවින් මෙය ඔහු විසින්ම නිවැරදි කළයුතුව තිබුණි. නමුත් එවැන්නක් මේවනතෙක් සිදුවුයේ නැත.

ඊට සති කීපයකට පසුව, එනම් 2021 ඔක්තෝම්බර් මස 18 දින ජපානයේ ශ්‍රී ලංකා සංගමය, ජපානයේ ශ්‍රී ලංකා ශිෂ්‍ය සංගමය, ජපානයේ ශ්‍රී ලංකා ආචාර්ය වරුන්ගේ සංගමය සහ ජපානයේ ශ්‍රී ලංකා වුර්තිය වේදීන්ගේ සංගමය ජපාන රජයේ ලියාපදිංචි කොට නොමැති බැවින් ඒවා නිත්‍යානුකුල නොවන බවට සදහන් ලිපියක් තානාපති තුමාගේ අත්සනින් අපවෙත ලැබුණි. මෙම ශ්‍රී ලංකික සංගම් පෙර සිටි තානාපතිවරුන් විසින් ආරම්භකොට ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ලියාපදිංචිකොට, සියළු රැස්වීම තානාපති කාර්යාලයේ නිලධාරියකුගේ අධීක්ෂණය යටතේ පැවතිබවින් මුදල් වැයකොට නැවත ජපාන රජයේ ලියාපදිංචි කිරීමට අවශ්‍ය නොවන බව සියළුම සංගම් තානාපතිතුමා සමග zoom හරහා පවතී හමුවේදී අවධාරණය කළෙමු. ඉන්පසු එම කරුණ සම්බන්ධයෙන් ගන්නා ලද තීරණයන් මෙතෙක් අපහට දැනුවත් කොට නැත.

මේ කාලය තුල තානාපති කාර්යාලයේ සිටි ජපන් ජාතික නිලධාරීන් මෙන්ම ශ්‍රී ලංකික නිලධාරීන් කිහිප දෙනකුම ඉවත්ව ගියේය. නියෝජ්‍ය තානාපති චන්දන වීරසේන මහතා සේවා කාලය අවසන් වන්නටත් පෙර ශ්‍රී ලංකාවට යැවීමට කටයුතු කෙරින. තානාපති කාර්යාලයේ සිටි ඉතාමත්ම දක්ෂ නිලධාරියකු වූ අමාත්‍ය රොෂාන් ගමගේ මහතා ශ්‍රී ලංකාවට ගිය පසුද විවිධ අඩත්තේට්ටම් වලට මුහුණ දීමට සිදුවූ අතර, ඔහුට අනුව එය තවමත් අවසන් නැත.

පසුගිය වසරක් වැනි කෙටි කාලය තුල තානාපතිතුමා විසින් තම කාර්යාලය තුල මෙන්ම ඉන් පරිභාහිරවත් විරුද්ධවාදීන් අඩු නැතිව ගොඩනගා ගත්තේය. තානාපති කාර්යාලය තුල සිදුවෙන සියළුදේ අඩු නැතිව ලංකාඊනිවුස් සහ නොයෙකුත් ගොසිප් වල පළවන්නට විය. කිසිදු සොයාබැලීමකින් තොරව මේ පිලිබදව චෝදනා එල්ලකරනු ලැබුවේ මටත් නියෝජ්‍ය තානාපති චන්දන වීරසේන මහතාටත්ය. ඊට අමතරව ශ්‍රී ලංකික සංගම් විසින් මිනිස් ජාවාරම් කරන බවට ජපානයේ විදේශ අමාත්‍යංශයට සහ පොලිසියට තානාපතිතුමා විසින් පැමිණිලි කළේය. කිසිදු පදනමක් නොමැතිව එවැනි පැමිණිල්ලක් තානාපතිතුමා විසින් කළබව පමණක් පොලිසිය මෙන්ම විදේශ කටයුතු අමාත්‍යංශයේ නිලධාරීන් මගින් අපට දැනගන්නට ලැබුණි. 

මේ සියල්ලෙන්ම කිසිදු ප්‍රතිපලයක් නොලද කල තානාපතිතුමා ගමන්කළේ ප්‍රේම් හේවාමාන නැමැත්තා ලවා අපට එරෙහිව අවලාද ලියවිමට යැයි මට සිතේ. එසේ කීමට හේතුව නම් මා විසින් ප්‍රේම් හේවාමාන්නට විරුද්ධව පොලිසියට පැමිණිලි කළ අවස්ථාවේ පොලිසිය විසින් ඔහු පොලිසියට ගෙන්විය. අවසානයේ ඔහු පිලිබදව සහතිකයක් අවශ්‍යනම් තානාපතිතුමාගේ ලබාගන්නා ලෙස පවසමින් පොලිසියට ඉදිරිපත්කලේ තානාපතිතුමාගේ නිල විසිටින් කඩ්පතය.

ප්‍රේම් හේවාමාන්න යනු කුමකට හෝ නිරන්තරයෙන් පොලිස් අත්අඩංගුවට පත්වන පුද්ගලයෙකි. අවසන් වරට පොලිසි අත් අඩංගුවට පත්වන්නේ පිරිමි දරුවකුට බලහත්කාර, අතවරකිරීමේ චෝදනාවකටය. ශ්‍රී ලංකාවේ සිට එන පුද්ගලයන්ගෙන් මුදල් ලබාගෙන රිෆුජි ඉල්ලුම් කරවා අනාතකර දමනවාට අමතරව මහත් උජාරුවෙන් තානාපතිතුමා ඉදිරියේද මෙලෙසම ප්‍රකාශකරනු කිහිප විට අප දැක ඇත. මේවනවිටද ඇග බැද සිටින මොහුලවා සුළු මුදලකට ඕනෑම පාදඩ වැඩක් කල හැකිය.

පසුගිය දිනක ප්‍රේම් හේවාමාන්නගේ බිරිදට මා දුරකතනයෙන් කතාකළ අවස්ථාවේ ඇය විසින් ප්‍රේම් හේවාමාන්න යනු කවුරුන්ද යන්න හොද චරිත සහතිකයක් ලබා දුන්නේය. අවශ්‍ය අයගේ දැන ගැනීම පිණිස එම දුරකතන සංවාදය මෙහි ඇතුලත් කොට තබමි. කෙනකු සමග කරන ලද සංවාදයක් ප්‍රසිද්ධ කිරීම සදාචාරාත්මක නොවන නමුත්, අපට එරෙහිව සාවද්‍ය වීඩියෝ පට නිකුත් කළ මේ පුද්ගලයා කවුරුන්දැයි ජනතාව දැනගත යුතුබැවින් සදාචාරාත්මක නොවන නමුත් මෙසේ ප්‍රසිද්ධ කිරීමට සිදුවූ බව දන්වා සිටිමි.

සමන් ප්‍රියංකර
සභාපති,
ජපානයේ ශ්‍රී ලංකා සංගමය.

Copied title and URL